Friday, March 11, 2011

(1 කොටස) පුරාණ ගොඩනැගිලි ආරක්ෂා කිරීම පිළිබඳ කුමාරස්වාමි අදහස් දැක්වීමෙන් වසර සියයකට පසු අම්බලම් කිහිපයක තොරතුරු

01. ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි
            
ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි ලාංකිකයෙකු ලෙස 1877 අගෝස්තු මස 22 වැනි දින  කොල්ලුපිටියේදී උපත ලැබී ය. නයිට් නාමයකින් පිදුම් ලැබූ ප‍්‍රථම ආසියාතිකයාවූත් ඉංග‍්‍රීසි නීතිඥ මණ්ඩලයට පත් ප‍්‍රථම ලාංකිකයා වූත් ශ‍්‍රීමත් මුත්තු කුමාරස්වාමි ට දාව කෙන්ටිෂ් උපත ලැබීය. බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලැබීම සඳහා 1889 දී වෛක්ලීෆ් විද්‍යාලයට ඇතුලත් වූ ඔහු 1900 දී පමණ බී.එස්.සී. උපාධිය ලබා ගන්නේ භූගර්භ විද්‍යාව හා උද්භිද විද්‍යාව පිළිබඳව ප‍්‍රථම පෙළ ගෞරව සහිතවයි.


            බි‍්‍රතාන්‍ය තුළ අධ්‍යාපනයෙන් ලත් දැණුම සිය මාතෘ භූමිය තුළ දිග හරින මොහු ලංකාණ්ඩුවේ ඛණිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වෙයි. තම රාජකාරියේ ප‍්‍රායෝගික පාර්ශවයට පිවිසෙන කුමාරස්වාමි සිය රැකියාව තමන් උපන් බිම පිළිබඳ එහි ඓතිහාසික තත්වය පිළිබඳ අධ්‍යයනය කිරීමට තමාට ලැබුනු අවස්ථාවක් කර ගනී. ලංකාවේ සමාජ සංස්කෘතික කලා සම්ප‍්‍රදායන් පිළිබඳ සුවිසල් අවබෝධයක් ලැබීමට ඔහුට ඒ තුළින් ඉඩ ප්‍රස්ථාව ලැබේ. සිය ගවේශනාත්මක අධ්‍යයනයන් තුළින් ලබාගත් සුවිසල් ඥාණය තුළින් ‘මධ්‍ය කාළීණ සිංහල කලා’ නම් කෘතිය රචනාකර ලාංකීය ඉතිහාසය, කලාව ලෝක අවධානයට ලක් කිරීමට පසුබිම සපයයි.
            
ආනන්ද කුමාරස්වාමි ලාංකීය ලකුණ ලෝකය වෙත ගෙන ගියේ ඔහුටම අනන්‍ය වූ දර්ශනයක් ඔස්සේ වීම සුවිශේත්වයක් විය. මේ බව ඔහු කලාවේ පරිහානියට තාක්‍ෂණය බලපාන ආකාරය පිළිබඳ විස්තර කරමින් මධ්‍ය කාලීණ සිංහල කලා කෘතියට දක්වන ප‍්‍රස්තාවනාවෙහි දී හදුනාගත හැකිය.
           
වණික් ක‍්‍රමයේ මූලික උපාය නම් යම් කිසි අවශ්‍යතාවයක් සපුරාලීමෙන් ලාභ ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාවක් ලබා ගනු පිණිස කෘතීම අවශ්‍යතාවක් ජණිත කිරීමයි. වණික් ක‍්‍රමයේදී අවශ්‍යතාවය විසින් නිෂ්පාදනය පාලනය නොකෙරෙයි. එහෙත් නිෂ්පාදනයම වෙළෙඳපොලක් බලයෙන් ඇතිකර ගනී. ධනපතියාට මෙය හරිහැටි කිරීමට යන්ත‍්‍ර උපකාරී විය. ශ‍්‍රමය අරපිරිමස්නා යන්ත්‍රෝපකරන මාර්ගයෙන් පිරිනැමුණු පිළින නම් කම්කරුවාට රාම රාජ්‍යක් උදාවෙයි. වැඩ කරන පැය ගණන අඩුවෙයි. වැඩ වඩාත් පහසුවෙයි. යනුයි.  එහි ප‍්‍රතිඵලය වූ කළී අධික නිෂ්පාදනයත් නිෂ්පාදකයාට බුද්ධි හීණ වැඩත්ය. ශ‍්‍රමය බෙදී යාම නිසා කම්කරුවාට සම්පූර්ණ භාණ්ඩයක් සෑදිමට තවත් ඉඩක් නැත. ඔහු භාණ්ඩයෙහි සුළු කොටසක් සෑදීමට ගැති වී සිටී.’
           
ඉහත දැක්වෙන්නේ ලොව කොතනත් තාක්‍ෂණයේ ආගමනයත් සමගම සම්ප‍්‍රදායික නිපුණ ශිල්පීන්ට ඇති වූ අහිතකර තත්වයයි. මධ්‍ය කාළීණ සිංහල කලා ඔස්සේ විවරනය කල කලාකරුවා වූ කලී ඉහත දක්වන ලද තාක්‍ෂණයේ අරුණැල්ලෙන් අඳුරු නොවූ කාල පරිච්ඡේදයක ජීවත් වූවෙකි.  එමෙන්ම මධ්‍ය කාළීණ සිංහල කලා ඔස්සේ විවරණය කල කලා නිර්මාණයන් වූ කලී ඉහත දක්වන ලද තාක්‍ෂණයේ අරුණැල්ලෙන් අඳුරු නොවූ කාල පරිච්ඡේදයක ජීවත් වූ කලා කරුවන් පිරිසකගේ දහදිය මුසුවූ නිර්මාණයන්ය.
            තවත් විටක ඔහු සවිස්තරව විවරණය කළයුතු මහනුවර යුගයේ ලංකාවෙහි තත්වය හා එකළ සිංහල කලාවේ ලක්‍ෂණ කවියෙකු මෙන් පිඩුකොට දක්වයි.
           
‘සිංහල කලාව දිළිඳු ජනතාවකගේ කලාවකි. ඔවුන්ගේ රජවරුන් අටලොස්වැනි සියවසේදී ලත් වාර්ෂික ආදායම  ද්‍රව්‍ය මඟින් ලත් වාර්ෂික ආදායම හැරෙන්ට පවුම් දෙදහසකට වැඩි නොවීය. එය භාරතයේ ශ්‍රේෂ්ඨ රාජ සභාවල හා ඉසුරුමත් නඟරවල පැවති සුඛෝපභෝගී කලාවට බෙහෙවින් වෙනස්විය.’
ශ‍්‍රී ලාංකිකයකු ලෙස කුමාරස්වාමිට මහනුවර යුගයේ කලා ශිල්ප ආරක්‍ෂා කර ගැනීම පිළිබඳ දැඩි උනන්දුවක් තිබිණ. මධ්‍ය කාළීන සිංහල කලාව ආරක්‍ෂා කර ගත යුතු යැයි හේ අවධාරනය කලේය. පහත අදහස් තුළින් ගම්‍යවන්නේ එයයි.
            
‘භාරතීය ද්‍රව්‍ය භාවිතය හා භාරතීය ශිල්පීන් මෙරටට ගෙන්වීම වැනි යථෝක්ත කලාව පිළිබඳ සුළු ඡායා මාත‍්‍රයක් ඒ මේ තැන අපට මුණ ගැසෙයි. එතෙකුදු වුවත් මෙකළ ලංකාවේ අනාවරණය කරගත හැකි නියම කලාව එපමණි. තව අවුරුදු කීපයකින් එය සදහටම අතුරුදන් වීමට ඉඩ තිබේ. එසේ වීමට පළමු ඒ පිළිබඳ වචන චිත‍්‍රයක් පිළියෙළ කිරීමට  මම මෙහිලා උත්සාහ කලෙමි.’
            
ආනන්ද කුමාරස්වාමි වියතානන් මධ්‍ය කාලීණ සිංහල කලා කෘතිය රචනා කරන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. එබැවින් යුරෝපීය උරුවට හේ 17 හා 18 සියවස් ඇතුලත් උඩරට රාජධානිය හදුන්වන්නේ ‘මධ්‍ය කාලය’ ලෙසයි. මහනුවර යුගයේදී ලංකාවේ නිර්මිත කලා කෘතීන් හි සුවිශේෂ ලක්‍ෂණ ලෝකයට ඉදිරිපත් කිරීමෙන් නොනැවතුනු එතුමන් ඒ වනවිට නිසි නඩත්තුවකින් තොරව විනාශ වෙමින් පැවති කලා කෘතීන් ආරක්‍ෂා කිරීම උදෙසා වගකිව යුත්තන් මෙහෙයවීමද සිදු කළේය.
            
උඩරට කලා කෘතීන් ආරක්‍ෂා කර ගැනීම පිණිස කුමාරස්වාමි තුළ තිබූ උනන්දුව ප‍්‍රකට වන අවස්ථාවකි, 1905 නොවැම්බර් 17 දින Ceylon Observer පුවත් පතට ලියන ලද ලිපිය. එම ලිපිය මඟින් ඔහු 17, 18 සියවස්වල නිර්මාණ සම්ප‍්‍රදායන් ආරක්‍ෂා කරගැනීමේ වගකීම දැරූ ප‍්‍රභූන්ට පොදුවේ ආමන්ත‍්‍රනය කරයි. එහි අවධාරණය කර ඇත්තේ එම යුගයේ ඉදිකල ගොඩනැගිලිවල ආරක්‍ෂාව පිළිබදවයි. එම ලිපියේ වැදගත්කම සලකා එහි සිංහල පරිවර්තනය ලංකා කලා මණ්ඩලය මගින් 1957 දී හා 1989 දී ද ප‍්‍රකාශයට පත් කර ඇත. මෙම ලිපියේ අවධාරනය පිළිබඳව කුමාරස්වාමි දක්වන්නේ,
            
මෙහිදී මා විශේෂයෙන් ම සැලකිල්ලට යොමු කැරැවීමට කැමැත්තේ  17වන හා 18වන ශත වර්ෂ වලට අයත් (මහනුවර යුගයේ) ගොඩනැගිලිවලටය...............................විශේෂයෙන් සඳහන් කළ යුතු ගොඩනැඟිලි වර්ග තුනකි - නැත්නම් හතරකි ඒ විහාර දේවාල පෞද්ගලික ගෙවල් සහ අම්බලම් ය.’
            
ලිපියෙහි අරමුණ වූයේ මධ්‍ය කාලීණ සිංහල කලාවක් ලෙස තත් කාළීණ ගොඩනැඟිලි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ ප‍්‍රකට කරන ඉහත සඳහන් කර ඇති ගොඩනැගිලිවල සුරක්‍ෂිතභාවය රැක ගැනීමට බලධාරින් යොමු කිරීමයි.


අන්තර් ඡාලයේ දී හමු වූ මෙම රුව තරුණ කාලයේ කුමාරස්වාමිගේයැයි සිතමි.   
            
කුමාරස්වාමි විසින් උක්ත ලිපියෙහි කරුණු අදාළ බලධාරින්ට විවෘතව ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලය කොතෙක් දුරට ඉටුවී ද? වර්තමානයේ එබඳු ගොඩනැගිලිවල තත්වය කෙබඳු වී ඇත්ද?   යන්න මෙම විමර්ශනය තුළදී අප සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතය.         
           
ඒ සදහා  අප  යොදා ගන්නේ මහනුවර නගරයේ සිට සැතපුම් අටකට ඔබ්බෙන් වර්ග සැතපුම් දහයක පමණ ප‍්‍රදේශයක පැතිරුණු දැවයෙන් කළ අම්බලම් පහකි. පාතහේවාහැට ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මෙම අම්බලම හී වත්මන් තත්වය මෙහිදී සැලකිල්ලට යොමු කරමු.



02. අම්බලම්

අම්බලම මාවත් අසළ සකසන ලද නවාතැන් පොළවල් ලෙස හැදින්විය හැකිය. වැලිවිටියේ ශ‍්‍රී සෝරත හිමියන් සිංහල ශබ්ඳ කෝෂයේදී අම්බලම හදුන්වන්නේ ‘මගියන්ට විශ‍්‍රාම ගැනීම සදහා මාර්ගාසන්නයෙහි කළ ගෙවල්’  ලෙසයි මිනිසා ස්වභාවයෙන්ම සංචාරය ප‍්‍රිය කරන සත්වයෙකි. මෙම සංචාරයන් විවිධ වූ අවශ්‍යතා උදෙසා මිනිසුන් සිදු කරයි. රාජකාරිමය අවශ්‍යතා, විනෝදය හා නෑදෑ හිත මිතුරන් හමුවීම, ආදී විවිධ හේතූන් ඒ සදහා මූලාශ‍්‍ර වේ.


ප‍්‍රවාහනය නොදියුණු අතීත සමාජයේ ගමනාගමනය පා කරනකොට සිදුවන විට ඒ සඳහා වූ අධික වෙහෙස මඟහැර ගැනීමට නවාතැන් පොළක අවශ්‍යතාවය මිනිසාට දැනෙන්නට විය. හේ එහිදී තුරු සෙවනක හෝ ස්වභාවික ගල් ලෙනක මුවාවේ  ගිමන් හැර යාම පුරුද්දක් කොට ගන්නට ඇත. ගමනා ගමනය වෙනුවෙන් මෙසේ මාවත් තහවුරු වීම සහ සංචාරකයින්ගේ පහසුව තකා නවාතැන්පොළවල් හි අවශ්‍යතාවය දැනෙත් දී රජු හෝ පිං කැමැත්තෝ ඒ වෙනුවෙන් පෙනී සිටියහ. සන්ඨාගාර, ආරාම, ආවාස, ගමන්මඩු, සෑදෙන්නේ මේ ආකාරයෙනි. බුද්ධ කාලීණ භාරතයේ විසූ අනේපිඩු සිටානන් වැන්නන් විසින් කරවන ලද මෙවැනි ප‍්‍රජා සේවාවන් බෞද්ධ සාහිත්‍යයේ සදහන්වේ.
           
හින්දු පිළිගැනීමට අනුව නටරාජ් තාණ්ඩව නර්තනය ඉදිරිපත් කරන වේදිකාව අම්බලමයි. ඒ අනුව අම්බබලම යන වදන හින්දු ආභාෂයෙන් ද්‍රවිඩ භාෂාවෙන් සිංහලයට පැමිණියේයැයි ඇතැම්හු තර්ක කරති. ද්‍රවිඩයින් පොන්නම්බලම්, සිවම්බලම් වැනි ලෙස අම්බලම් ශබ්දය භාවිත කරමින් නම් තැබීම පවා සිදුකරයි. ඒ අනුව සිංහලයන්ටත් වඩා ද්‍රවිඩයන්හට අම්බලම සංවේදී බව පිළිගත යුතු කරුණකි.
            ආචාර්ය චාල්ස් ගොඩකුඹුර ගේ පැහැදිලි කිරීමට අදාළව බලන විට ගම් සභාව එක්වන තැන හෝ පණ්ඩිත සභාව පවත්වන තැන අම්බලම විය. සෙල්ලම් ක‍්‍රීඩාද අමබලමේ පවත්වා ඇත. ගමේ ආදායම් රැස්කරන කාර්යාලය ලෙස ද අම්බලම භාවිතා කර ඇත.
            රජුගේ යටත් සේවකයින් සංචාරකයින් විවිධ ශිල්පීන් කතා කරුවන් ආදීන්ගේ සේවනය අම්බලම් ආශ‍්‍රිත ජනයාට ලැබෙන්නට ඇත. ඒ අනුව බලන විට ගමක අම්බලමක් පිහිටීම එගම වැසියන්ගේ ජීවිතවලට මහත් බලපෑමක් ඇති කරන්නට ඇත. අම්බලම ගමක සංනිවේදන මධ්‍යස්ථානයක් වන්නට ඇත. රටෙහි තොරතුරු විවිධ ගම්වල තොරතුරු නැවුම් ප‍්‍රවෘත්ති ලබාගත හැකි සංනිවේදන පියසක් ලෙස අම්බලම පවතින්නට ඇත. රොබට් නොක්ස්  දක්වා ඇති තොරතුරු අනුව,

‘......................................ඔවුන් බොහෝ දෙනෙකු එක්ව ගමන් යනවිට පාරවල් පටු හෙයින් පෙළකට යා හැක්කේ එකෙකුට පමණක් වුවද ඔවුහු විසි දෙනෙක් වෙත් නම් ප‍්‍රථමයාගේ සිට අන්තිමයා දක්වා හැම දෙනාගේම සාකච්ඡාවට භාජනය වන්නේ එකම තර්කයකි. නැතහොත් කාරණයකි.  මෙසේ ඔවුහු හැම දෙනම එක්වී කථා බස් කරමින් යති. හැම මිනිසාගේම මුළු ගමනටම සෑහෙන තරම් ආහාර ද්‍රව්‍ය පිටේ එල්ලාගෙන යයි. වැඩ කටයුතු හමාර වී ඉස්පාසු ඇතිවිට ඔවුන්ගේ භාෂාවෙන් අම්බලම් යැයි කියන ආගන්තුකයන්ගේ හා මගීන්ගේ නැවතීම සඳහා සාදා තිබෙන ස්ථානයන්ට රැස් වී  වාඩි ගෙන බුලත් කමින් එකිනෙකා දෙස සන්සුන් ලෙසත් උදාර ලෙසත් බලාගෙන රාජ සභාවේ කටයුතු රජු සහ ප‍්‍රධානින් අතර කටයුතු හා නඟරයේ මිනිසුන් යෙදී සිටිනා රැකී රක්‍ෂා සම්බන්ධයෙන් සම්භාෂණයෙහි යෙදෙති
            
ලංකාවේ අම්බලම ඉතා ඈත අතීතයකට උරුමකම් කියන්නකි. ‘ඒ දඩු මත්තෙහි කරනලද විශ‍්‍රාම ශාලාවෙහි හුන් නුවණැති අන්ධ බමුණා ඒ දරුවන්ගේ පතුල් ශබ්දය අසා.......................’ අත්තනගලු වංශයේ එසේ සදහන් කොටසෙහි දැක්වෙන විශ‍්‍රාම ශාලාව යනු අම්බලමක් වන්නට ඇත. සිංහල පද්‍ය සාහිත්‍ය විෂයෙහි ලා සන්දේශ කාව්‍යයන්වලදී ද අම්බලම් පිළිබඳව විශේෂයෙන් සදහන් වේ’
            
අම්බලම් පිළිබඳව වැඩිදුර කරුණු අධ්‍යයනය කරනවිට අම්බලම් වර්ගීකරනයක්ද පවතින බව පෙනෙයි. එනම්,
            1. මැටි අම්බලම්
            2. සිටු අම්බලම්

යනුවෙන් ය. මැටි අම්බලම් බොහෝ විට භාවිතා කෙරුණේ සාමාන්‍ය ජනයා විසින් ය. සිටු අම්බලම් ප‍්‍රභූන්ගේ භාවිතය උදෙසා විය. කුමාරස්වාමි සිය ලිපිය මගින් ආරක්‍ෂා කළ යුතු සේ දක්වා ඇත්තේ උඩරට මෙම සිටු  අම්බලම් යැයි ගුනසේන විතානයන් දක්වයි. විතාන විසින් රචිත ‘අම්බලම් සාහිත්‍ය’ කෘතියේදී මේ ගැන අදහස් දක්වන ඔහු සදහන් කර ඇත්තේ,

‘......................උඩරට දෝළාවෙන් ගමන් ගිය රදළ ජනයා තමන් ඔසවාගෙන යනු ලබන සේවකයින් වෙහෙස නිවා ගන්නා තෙක් රැදී සිටීමට මේ සිටු අම්බලම් යොදා ගන්නට ඇත.ලෙසයි.         

            
අප විසින් අධ්‍යයනයට ගන්නා අම්බලම්වල භාවිතා කර ඇති ගෘහ නිර්මාන ශිල්පීය ලක්‍ෂණ දෙස බලන විට ඒවාද සිටු අම්බලම් ලෙස හදුනාගත හැකිය.  විශාරද මතයන් අනුව එකම අම්බලම තුළ පවතින වේදිකාවන් නිසා සමාජයේ විවිධ පන්තීන්ට කුලයන්ට එය පරිහරනය කිරීමට හැකිවන අයුරින් නිර්මානය කර ඇත. ඉහත විතාන ගේ කියමන පිළිගැනීමට ඇති ප‍්‍රධාන බාධාව වන්නේද අප විසින් අධ්‍යයනයට ගන්නා අම්බලම්වල අදටද හදුනාගත හැකි ඉහත ලක්‍ෂණයයි. එබැවින් විතාන සදහන් කළ අදහස,
           
‘.............................උඩරට දෝලාවෙන් ගමන් ගිය රදළ ජනයා තමන් ඔසවාගෙන යනු ලබන සේවකයින් වෙහෙස නිවා ගන්නා තෙක් සේවකයින් සමඟ රැදී සිටීමට මේ සිටු අම්බලම් යොදා ගන්නට ඇත.’ යි ලෙස කීවා නම් මැනවැයි සිතේ. ජන කවියා කී ලෙසට,
‘වෙළ ළඟ  අම්බලම කාටත් පරවේනී’
යන්න  අම්බලම් උදෙසා යෝග්‍ය බව අපට හැගේ.

03. පාතහේවාහැට අම්බලම්     
            
උඩරට රාජධානි සමයේදී හේවාහැට ලෙස ප‍්‍රදේශයක් පැවතියේ ය. ඓතිහාසික තොරතුරු පරීක්‍ෂා කරන විට හේවායන් හැට දෙනෙකුට පමණ නිවස්න වූ හේවාහැට ලෙස නොක්ස් විසින් සිය ග‍්‍රන්ථයේ පස් වන පරිච්ඡේදයේ කරන පළාත් විස්තරයේදී හැදින් වූ ඉහත දැක් වූ හේවාහැට ප‍්‍රදේශයට මේ ප‍්‍රදේශයද අයත්ව තිබිණ. ඒ බව එදා හෙළ දිව ග‍්‍රන්ථයෙන් හෙළිවේ. අද්‍යතන පරිපාලන බෙදීම ඊට බොහෝ වෙනස් එකකි. මේ වනවිට හේවාහැට යනුවෙන් හදුන්වන නාමය සහිත ප‍්‍රදේශය පවතින්නේ පාතහේවාහැට යන ප‍්‍රදේශයට ඉතා වැඩිදුරක් එපිටිනි. කෙසේ නමුත් අතීත හේවාහැට බොහෝ විශාල ප‍්‍රදේශයක පැතිර තිබුණි. අද පාතහේවාහැට යනු වර්ග කිලෝ මීටර් 74.4ක විශාලත්වයකින් යුතු ප‍්‍රදේශයකි. අප අධ්‍යයනයට ගන්නා අම්බලම් මෙම ප‍්‍රදේශයේ වර්ග කිලෝ මීටර් 10ක පමණ ප‍්‍රදේශයක පැතිර ඇත. ඓතිහාසිකව ගත්විට හේවාහැට අනන්‍යතාවය වෙනුවෙන් උඩරට රාජධානි සමයේ භාවිත කළ කොඩිය ලෙස හදුනා ගන්නේ ඓතිහාසික රාවණා කොඩියයි.

            විහාර අස්න හෙවත් නම් පොත අනුව කියැවෙන පළමු විහාරස්ථාන දෙක පිහිටා ඇත්තේද පාතහේවාහැට හි ය. එම සගම හා පස්ගම රජමහ විහාරස්ථාන වැනි ඓතිහාසික ස්ථාන මෙන්ම එම විහාරවලට වට වූ සුවිසල් ධර්ම ශාලා පද්ධතියකින් ද මහනුවර යුගයේ චිත‍්‍රවලින් යුතු පුරාණ විහාරස්ථාන සහ පෞරාණික ගොඩනැඟිලිවලින් මෙම ප‍්‍රදේශය පොහොසත් ය. එම පෞරාණික ගොඩනැඟිලිවලින් බොහොමයක් මේ වනවිට විනාශ වෙමින් පවතී. 

            අධ්‍යයනය සඳහා යොදා ගන්නා අම්බලම් ද ඇතුළුව ප‍්‍රදේශයේ මුළු අම්බලම් ප‍්‍රමාණය දහයකි. අපගේ අවධානයට හසුවන ලී අම්බලම් පහ වන්නේ,

            1. මාරස්සන අම්බලම.
            2. හේවාවිස්ස අම්බලම.
            3. කන්දේවෙල අම්බලම.
            4. මැදගම අම්බලම.
            5. ගොඩමුන්න අම්බලම.

වන අතර අනෙක් අම්බලම් පිහිටා ඇති ස්ථාන අනුව පහත පරිදිය

            6. ගොඩමුන්න ඇල්ලවත්  ඔය අම්බලම.
            7. දෙහල්කඩ අම්බලම.
            8. උඩුවෙල උඩගම අම්බලම
            9. උඩුවෙල ගිණිහිරිය.
            10. අප්පල්ලාගොඩ ගල් අම්බලම.

යන ඒවායි.
           
 මෙම අම්බලම්වල සැකැස්ම පිළිබඳව කරුණු අවබෝධයද වැදගත්ය.  අම්බලම් හී පිහිටීම ගත්විට ඒ අනුව පුරාණ මාර්ගය සැකසී තිබූ ආකාරය පැහැදිලි වෙයි. ඓතිහාසික ජන කතා අනුව මෙම පැරණි මාවත භාවිතා කර ඇත්තේ කන්දේ නුවර සිට හඟුරන්කෙත රජ මාළිගය ප‍්‍රදේශය දක්වා ගමන් බිමන් වෙනුවෙනි. උඩරට ප‍්‍රදේශවල රාසිංදෙවියන් නමින් ප‍්‍රසිද්ධ දෙවන රාජසිංහ රජු මහනුවර ප‍්‍රධාන රාජධානිය වශයෙන් ආරම්භ කළ 1 වන විමලධර්ම රජගේ සොහොයුරු සෙනරත් රජුගේ පුතකු බව සඳහන් වේ. සෙනරත් රජගෙන් පසු රාජසිංහ කුමාරයා දෙවන රාජසිහ නමින් මහනුවර සිංහානනාරූඩ වූ බව සඳහන් වේ. වසර 52 ක් වූ මෙම රජුගේ රාජ්‍ය පාලන සමය ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරරිච්ඡේදයක් වූ බව සදහන් ය. සෙංකඩගල නුවර ප‍්‍රධාන රාජධානියක් වුවත් මෙම රජතුමා නිරතුරුව වාසය කළ උප නගර කීපයක් විය. මහනුවරින් සැතපුම් 12 ක් පමණ ඈතින් වූ නිල්ලඹ ඉන් එකකි. මහනුවරින් සැතපුම් 18 ක් පමණ ඈතින් පිහිටි හඟුරන්කෙත අනෙක් උප නගරයයි.  රාජසිංහ රජු රාජද්‍රෝහීන්ට සහ වෙනත් වරද කරුවන්ට කිසිදු දයාවක් නොදක්වා භයානක දඩුවම් ලබා දුන් රජ කෙනකු බව කියයි. ඒ නිසා කලකිරුණු රට වැසියන් කැරැල්ලක් ඇති කරන ලද අතර කැරලිකරුවන් රජ මාලිගය වටලා ගත් අවස්ථාවේ රජු ගම් වැසියකු ලෙස වෙස්වලාගෙන මාළිගාවෙන් පිට වී හන්තාන කඳු වැටිය ඔස්සේ නිල්ලඹ, උඩුවෙල, කපුලියද්ද, මාරස්සන පසුකොට හඟුගුරන්කෙත බලා ගමන් කොට ඇත. මාරස්සන ගමට එ නම යෙදීමට හේතුවද මෙම ගමනයි. මාරස්සන අම්බලම පිළිබඳව කරන විවරනයේ දී දී එය සඳහන් කර  සදහන් කර ඇත. අද එම මාවත භාවිත නොකලද ඊට ඔබ්බෙන්වන මාර්ගයක ගමනාගමනය සිදුවේ. පැරණි අම්බලම් මාවත සුන්දර වෙල් යායක පිහිටි බව අදටද හදුනා ගත හැකිය. මෙම ගොඩනැගිලිවල කාල වකවානුව නිශ්චිතව හදුනාගත හැකිවන්නේ ගොඩනැගීමේ අන්තර්ගත ලක්‍ෂණ පාදක කොටගෙනය. මෙම අම්බලම් මධ්‍ය කාලීන යුගයේ නිර්මාණයන් ලෙස කුමාරස්වාමි දක්වයි‍.

1660, 1679 කාලයේ දී උඩරට එළිමහන් සිරකරුවෙක්ව සිටි නොක්ස් ද අම්බලම පිළිබඳව කරුණු දක්වයි.
අප අධ්‍යයනයට හසු කරන අම්බලම් හී කාලය හදුනා ගැනීමේදී මෙම අම්බලම් සමූහයේ එක් අම්බලමක්වන ගොඩමුන්න අම්බලම වටා ඇති ජන කතාවක් වැදගත් වේ. එනම් දන්ත ධාතූන් වහන්සේ හගුරන්කෙතට රැගෙන යන අවස්ථාවේ  මෙම අම්බලමෙහි මොහොතක් තබා වැඩමවන ලදැයි කියන පුවතයි. ඒ අනුව දන්ත ධාතූන් වහන්සේ හගුරන්කෙතට රැගෙන ගිය කාලයේ මෙම අම්බලම තිබී ඇත. වාස්තු විද්‍යාත්මකව බලනවිට අනෙත් ලී අම්බලම් ද සමාන බැවින් එම අම්බලම්ද එකම කාලයක ඉදිවන්නට ඇත.
එම ගොඩමුන්න අම්බලම පිළිබඳව සදහනක් පහත දැක් වේ.

‘17 වන සිය වසේ  ලන්දේසින්ගේ ප‍්‍රහාරය නිසා ගින්නෙන් දැවීගිය හඟුරන්කෙත මාළිගාවෙහි දැවමය කණු මේ අම්බලම නිර්මාණයේදී ප‍්‍රයෝජනයට ගන්නා ලදැයි කියනු ලැබේ’
(කන්ද උඩරට මහනුවර- අනුරාධ සෙනවිරත්න. 158 පිටුව)
  
මෙම අම්බලම් වල ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමද වැදගත්ය. මෙම අම්බලම ඉදිකිරීමේ දී මට්ටම් කරන ලද පොළොවෙහි සෘජු කෝණාශ‍්‍ර කොටසක තබන ලද විසල් ගල් සතරකි. ඒ මත දැව කඳන් හතරක් පිහිටුවා එහි කොන්වලින් ඉහළට එසවෙන දැව කප මත වහළයෙහි මුදුන් ලී පිහිටුවා ඇත. වහළ කොතක් වන සේ රඳවා ඇත්තේ කැණිමඩලකිනි. මාරස්සන කන්දේවෙල හා හේවාවිස්ස අම්බලම් වල ප‍්‍රධාන කප හතරට අමතරව ඊට පිටින් කුඩා කණු දොළහකි. කප මුදුන් ලීයට එක්වන තැන පේකඩ ය. වහළයෙහි මුදුනෙහි කොතකි. පේකඩ කප  ආදියෙහි අලංකාර කැටයම් ය.  

මෙම අධ්‍යයනය තුළදී කුමාරස්වාමි ගේ ඉල්ලීම හා අම්බලම් වල වත්මන් තත්වය පමණක් සාකච්ඡා කරන අතර කැටයම් ආදී කළාත්මක ලක්‍ෂණ අවධාරනය නොකරමු. කෙසේ නමුදු මෙම අම්බලම්හී වත්මනවන විට වයස වසර හාරසියය ඉක්මවන බව ඉහත කරුණු පොදුවේ විමසීමේ දී පෙනී යයි.



(මතු සම්බන්ධයි)

5 comments:

  1. ඇත්තටම හොඳ වැඩක් විකී,, ජයවේවා!!!!!!!

    ReplyDelete
  2. හරි - බොහෝමත්ම
    ස්තුතියි.

    ReplyDelete
  3. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  4. ආනන්ද කුමාරස්වාමි මහතා ගැන සොයන විට ඔබගේ මේම බ්ලොග හමුවුනි.

    ReplyDelete